ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඔහු පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ඇතිව ජනාධිපතිවරයා විසිනි. පාර්ලිමේන්තුවේ මහලේකම් ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වෙන් සුරක්ෂිත වී ඇති නිලයකි. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සතු ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් නම් පාර්ලිමේන්තු පටිපාටිය, පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය ස්ථාවර නියෝග, වරප්‍රසාද සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අදාළ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් කථානායකවරයාට සහ මූලාසනය දරන වෙනත් නිලධාරීන්ට උපදෙස් දීමය. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ වගකීම් ඉටු කිරීමේදී ඔහුට නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ සහ සහකාර පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ සහාය ලැබේ. මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පරිපාලකයා මෙන්ම ගිණුම් නිලධාරියා ද වේ. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය පත්කරනු ලබන්නේ කථානායකවරයාගේ අනුමැතිය ඇතිව මහලේකම්වරයා විසිනි. මහලේකම්වරයා හෝ ඔහුගේ නාමිකයා, පාර්ලිමේන්තුව විසින් පිහිටුවනු ලැබ ඇති සියලුම කාරක සභාවල ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි.

 

වත්මන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් පිළිබඳව

1994 දී පාර්ලිමේන්තුවේ සහකාර මහ ‌ලේකම් ලෙස සිය පාර්ලිමේන්තු වෘත්තීය දිවිය ආරම්භ කර, 2003 දී පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ ලේකම් ධුරයට පත් වූ ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් නමැති උසස් ධුරයට අනුප්‍රාප්ත වූයේ 2012 වර්ෂයේදී ය.

ධම්මික දසනායක මහතා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. ඔහු සිය එල්.එල්.බී (නීතිවේදී) සහ එල්.එල්.එම් (නීතිපති) උපාධි සම්පූර්ණ කළේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දීමෙන් පසු 1988 දී ඔහු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති උපදේශක (පර්යේෂණ) ලෙස පත් කරන ලදී.

1989 වසරේ දී ඔහු රජයේ නීතිඥයෙක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ගාල්ල, කොළඹ, ගම්පහ, රත්නපුර, හලාවත, පානදුර, මීගමුව සහ අවිස්සාවේල්ල ඇතුළු මහාධිකරණ කිහිපයකම රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීය. එමෙන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ රිට් අයදුම්පත්‍ර සම්බන්ධ නඩුවලට ද රජය වෙනුවෙන් පෙනී සිට ඇත. එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සේවක අධ්‍යාපන ආයතනයේ හිටපු නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් ද විය.

දසනායක මහතා අන්තර් පාර්ලි‌මේන්තු සංගමයේ (IPU), පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ (CPA) සහ ‘සාර්ක්’ පාර්ලි‌මේන්තු සංගමයේ සමුළු බොහෝ ගණනකට සහභාගී වී ඇති අතර 2010 සිට 2012 වසර දක්වා පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ ආසියා කලාපීය ලේකම්වරයා ද විය. එමෙන්ම ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ බොහෝ ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සංචාර සඳහා ද ඔහු සහභාගී වී තිබේ. පොදුරාජ්‍ය මණ්ඩල පදනම විසින් 2000 වසරේ දී පාර්ලිමේන්තු පාලනය විෂය සඳහා වූ කීර්තිමත් පොදුරාජ්‍ය මණ්ඩලයීය සම්මාන සාමාජිකත්වය ද දසනායක මහතා වෙත පිරිනමන ලදී. 2004 වර්ෂයේ දී ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුව‍ර දී ‘අවශ්‍යතා තක්සේරු මෙහෙයුමක්’ සිදුකිරීම සඳහා අන්තර් පාර්ලි‌මේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් පත්කරන ලද විශේෂඥ මණ්ඩලයක ප්‍රධානත්වය දැරීම සඳහා දසනායක මහතාට ආරාධනා කරන ලදී. ඇෆ්ගනිස්ථානයේ නව පාර්ලිමේන්තුව සඳහා ව්‍යුහය, පරිපාලන පරිස්ථිතිය සහ රීති හා ස්ථාවර නියෝග සකස් කිරීමෙහි ලා පුරෝගාමී කාර්යභාරයක් එම මණ්ඩලයෙන් ඉටු විය. එමෙන්ම ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රීවරුන් කණ්ඩායම සහ ප්‍රධාන කාර්ය මණ්ඩලීය සාමාජිකයින් වෙනුවෙන් වැඩමුළු සහ පුහුණු සැසි කිහිපයක් පැවැත්වීම සඳහා ද ඔහුට ආරාධනා කරන ලදී. 2006 වසරේ දී ලාඕස් ජනරජයේ පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව පිහිටුවීම සඳහා විශේෂඥ අදහස් ලබාගැනීම වෙනුවෙන් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් දසනායක මහතාට ආරාධනා කරන ලදී. එමෙන්ම ඒ මහතා බොහෝ පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් මෙහෙයවා ඇති පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ ජාත්‍යන්තර පාර්ලි‌‌මේන්තු සම්පත්දායකයෙක් ද වේ.

දසනායක මහතා විවාහකයෙකු වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු කියවීමට සහ ඡායාරූපකරණයට ප්‍රිය කරයි.

 

හිටපු පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරු

ආර්. සෙන්ට් එල්. පී. දැරණියගල මහතා (1947 - 1964)
එස්. එස්. වි‌ජේසිංහ මහතා (1964 - 1981)
එස්. එන්. සෙ‌නෙවිරත්න මහතා (1981 - 1994)
බර්ට්‍රම් තිත්තවැල්ල මහතා (1994 - 1999)
ධම්මික කිතුල්‌ගොඩ මහතා (1999 - 2002; 2008 - 2012)
ප්‍රියාණි වි‌ජේ‌‌සේකර මහත්මිය (2002 - 2008)

 

 

අමතන්න
ඩබ්.බී.ඩී. දසනායක
dhammika_d@parliament.lk
පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි